සිංහල ෆොන්ට් පිළිබඳ වැඩමුළුව - 2003

සින්ටෙක් ආයතනය විසින් 2003 ජූනි 13 දින සිලෝන් කොන්ටිනෙන්ටල් හෝටලයේ සිංහල ෆොන්ට් පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදී.  මෙහි ප්‍රධාන අරමුණ වූයේ;

  1. යුනිකෝඩ් කේත ක්‍රමය තුල සිංහල අකුරු නියෝජනය වන අයුරු
  2. යතුරු පුවරු සැකැස්ම හා එහි ක්‍රියාකාරීත්වය

    හා
  1. මුද්‍රිත හා පරිගණක තිරවල අක්‍ෂර දැක්වෙන අයුරු

පිළිබඳව අතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමයි.

මෙම වැඩමුළුවට ෆොන්ට් හා පරිගණක විසදුම් නිපදවන්නන්, පරිගණකවල සිංහල භාවිතා කරන්නන්, විශ්ව විද්‍යාලවල නියෝජිතයින්, ජන සන්නිවේදන මාධ්‍ය, සිංහල ශබ්ද කෝෂ කාර්යාලය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ආදිය සහභාගී විය. 

සින්ටෙක් ප්‍රධාන විධායක නිලධාරී අජිත් ඒකනායක මහතා විසින් පැමිණි අය පිළිගන්නා ලදී.  ආචාර්ය ගිහාන් ඩයස් (කමිටු සභාපති) විසින් සිංහල යුනිකෝඩ් අනුකූල ෆොන්ට් භාවිතයේ ගැටළු පිළිබඳව විස්තර කරන ලදී.  කොළඹ සරසවියේ ආචාර්ය රුවන් වීරසිංහ විසින් යුනිකෝඩ් පිළිබඳව කෙටි හැඳින්වීමක් ද අක්‍ෂර පරිගණක තුල නියෝජනය වන අයුරු පිළිබඳව උදාහරණ කීපයක් දැක්වීය.  මහාචාර්ය ජේ.බී. දිසානායක විසින් සිංහල භාෂාවේ වැදගත් ලක්‍ෂණ පිළිබඳව කථා කළේය.  ශ්‍රී ලංකා එක්සත් ප්‍රවෘත්ති සමාගමේ අනුර තිසේරා මහතා මේ සඳහා යොදා ගත හැකි යතුරු පුවරුව හඳුන්වා දුන් අතර සිංහල යුනිකෝඩ් ෆොන්ට් පරිගණක තිරයේ දිස්වීමේ ගැටළු කොළඹ සරසවියේ හර්ෂ විජේවර්ධන මහතා විසින් පෙන්වා දෙන ලදී.

මෙහිදී පැවැත්වුණු සාකච්ඡාවේදී සිංහල යුනිකෝඩ් සඳහා අවශ්‍ය සම්පත් බාගත කර හැකි වන අයුරින් තැබීමට www.fonts.lk යනුවෙන් වෙබ් අඩවියක් සැකසීමට තීරණය කරන ලදී.

ආචාර්ය ගිහාන් ඩයස් විසින් සිංහල යුනිකෝඩ් මයික්‍රොසොෆ්ට් විසින් පිළිගෙන ඇති බව දන්වමින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල සිංහල ක්‍රියාත්මක කිරීම සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම සමග කටයුතු කරන බැව් දන්වන ලදී.  ඔහු විසින් යෝජිත ඉස්කි (Indian Standard Code for Info Interchange – ISCII) යතුරු පුවරුව හඳුන්වා දුන් අතර එහිදී ව්‍යාංජනාක්‍ෂරය ප්‍රථමව ද අදාල ස්වරය (උදා - කොම්බුව) පසුව ද ඇතුලත් කරන බැව් දැන්වීය.  සහභාගීවන්නන්  මෙම ක්‍රමය අනුමත නොකළ අතර ලියන අයුරුන් යතුරු ලියනය කිරීමේ ක්‍රමය (type as you write) පරිගණකයේ ද භාවිතා කළ යුතු බැව් යෝජනා කරන ලදී. 

මේ පිළිබඳ කමිටුව මයික්‍රොසොෆ්ට් සමාගම සමග සාකච්ඡා කිරීමට තිරණය කරන ලදී.  තවද සාහභාගී වූ අය සිංහල යුනිකෝඩ් ෆොන්ට් ක්‍රියාත්මක වන බැව් විමසුවෙන්, ඒ සඳහා තාක්‍ෂණික වැඩමුළු පැවැත්වීමට තීරණය කරන ලදී.

සහභාගීවූවන්ගේ අදහස් තදින් සලකා බැලීමට කමිටුව එකඟ විය.